Monday, December 29, 2014

වෙළෙඳ සංකීර්ණයක් වූ ලන්දේසි රෝහලේ කතාව

කොළඹ කොටුව! සියවස් කිහිපයකට පෙරාතුව පෘතුගීසින් ලංකාව ආක‍්‍රමණය කළ අවධියේදී ඉදිකෙරුණු බළකොටුව හේතුවෙන් කොළඹ කොටුව යන නම ලැබුණ මේ පුරවරය අද අපේ රටේ අගනගරයයි.
පෘතුගීසි, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය නම් යුග තුනක් පසුකරමින් පැමිණි බැවින් ඒ යුග තුනටම අයත් විවිධ සංකේත ස්මාරක, ගොඩනැගිලි ආදියෙන් මේ කොළඹ පිරී තිබේ. එකි යුග පසු කිරීමෙන් අනතුරුව නිදහස් ලංකාව තුළ ඉදිකෙරුණ බොහෝ ගොඩනැගිලිද මේ අගනගරයේ තිබේ.


එහෙත් මේ ගොඩනැගිලි ඉදිකරන සමයේ භාවිත කළ අයුරුත් ඉනික්බිති ඒවා භාවිත කළ අරමුණත් යුගයෙන් යුගයට වෙනස් විය. එය අනිත්‍ය වූ ලෝකයේ ස්වභාවයයි.

එදා ලන්දේසි ආණ්ඩුකරුවකු නිල නිවාසය සේ පාවිච්චි කළ නිවෙස අද ගල්කිස්සේ මවුන්ට් ලැවීනියා හෝටලයයි. එදා අරක්කු නිෂ්පාදනාගාරයක් වූ අරලියගහ මන්දිරය අද අගමැති නිල නිවෙසයි. ඒ අයුරින් එදා මෙදාතුර භාවිතයේදී වෙනස් කම් ගත් ගොඩනැගිලි රාශියකි.

කොළඹ කොටුවේ ලන්දේසි රෝහලද මේ අයුරින්ම සියවස් ගණනක් පැරැණි ගොඩනැගිල්ලකි. කොළඹ කොටුවෙහි උසම ගොඩනැගිල්ල වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අයත් නිවුන් කුළුණත් ලංකා බැංකු මූලස්ථානයට අයත් රවුම් ගොඩනැගිල්ලත් ඉදිරිපිට රෝහල් වීදියේ පිහිටි මේ ඉපැරැණි ගොඩනැගිල්ල සියවස් තුනකට පෙරාතුව නිසංසල පෙදෙසකට උරුම කීවේය. හෙක්ටයාර් භාගයක් පමණ යටකරගෙන ඉදිකෙරුණු මේ ගොඩනැගිල්ල ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය මේ යැයි අදටත් අපට කියාපාන්නාක් වැන්න.

කොටස් පහක් මැද මිදුල් දෙකක් සහිත මේ සුවිසල් ගොඩනැගිල්ලේ ඉදිරිපස දිගටම විහිදෙන ආලින්දයකි. මෙහි ඇති එක් මැද මිදුලකට ගොඩනැගිල්ලෙහි කොටස් හතරක්ම සම්බන්ධ වන අතර, අනෙක් කොටස අනෙක් මැද මිදුල හා සම්බන්ධ වෙයි. ගොඩනැගිල්ලේ ඉදිරි කොටස තට්ටු දෙකකින් යුක්තය. එහෙත් මේ උඩ තට්ටුව නිර්මාණය කර ඇත්තේ ලී තට්ටුවකිනි. එකී ලී උඩුමහලට යෑම සඳහා ඇත්තේද ලී පඩිපෙළකි. එහෙත් සියවස් තුනකට පසුවත් මේ ලී පඩිපෙළත් ලී උඩුමහලත් අතිශයින්ම ශක්තිමත්ය. එකද ගුල්ලෙක්වත් මේ ලීයක් ”ඉව” කර නැත.

මේ ලන්දේසි රෝහලේ අනෙක් අරුමය වන්නේ එහි ඇති බිත්තියි. එක බිත්තියක පළල සෙන්ටිමීටර් පනහකි. කබොක් ගලින් සාදා හුණු ආලේප කර ඇති මේ ඝනකම් බිත්ති, අද යුගයේ සාදන සිමෙන්ති හා ගඩොල් බිත්ති පරදන තරමට සවිමත්ය.

සියවස් තුනකට කලින් ඉදිකරන ලද බව කියතත්, මේ ගොඩනැගිල්ල ඉදිකරන්නට පටන්ගත් හෝ ඉදිකිරීම් අවසන් කළ හෝ, රෝහල පටන්ගත් හෝ දින වකවානු ගැන ඉතිහාසය අපෙන් සැඟව තිබේ.
ලන්දේසි රෝහල ගැන සඳහන් වන ඉතිහාසයේ පළමුවැනි වාර්තාව හමුවන්නේ 1677 වසරේදීය. ඒ ජර්මන් ජාතික ක‍්‍රිස්ටෝපර් ස්විට්සර් ලියූ වාර්තාවකි. ඊළඟට 1730 වසරේදී බ්‍රෝහියර් නිර්මාණය කළ කොළඹ සිතියමක ලන්දේසි රෝහල පිළිබඳ පැහැදිලි සටහනක් හමුවෙයි. එහෙත් මේ රෝහල පිළිබඳ චිත‍්‍රයක් හිතේ ඇඳගත හැකි ආකාරයේ අංගසම්පූර්ණ විස්තරයක් සටහන් කර ඇත්තේ 1734 වසරේදී හෙයිට් නම් පුද්ගලයකු විසිනි. ඔහුට අනුව එවකට ලෝකයේ තිබූ සියලූම යටත් විජිත අතරින් හොඳම රෝහල, මේ කොළඹ රෝහලයි.

ඇත්ත වශයෙන්ම මේ ලන්දේසි රෝහල එවකට ඉතා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන ගොස් ඇත. ඊට එක් හේතුවක් නම් කොළඹ කොටුවෙහි සේවය කළ සහ වාසය කළ  ඕලන්ද යටත් විජිතය භාර ඉහළ පෙළේ නිලධාරින් හා ඒ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය ගැන මේ රෝහලට වගකිවයුතුව තිබීමය.
ප‍්‍රධාන ශල්‍ය වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක්, කණිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක්, රෝහලේ සේවය කළහ. මොවුනතුරින් ප‍්‍රධාන වෛද්‍යවරු ඇම්ස්ටඩෑම් සරසවියෙන් වෛද්‍ය උපාධිය දිනාගත් දැනුම් තේරුම් ඇති ප‍්‍රවීණයෝ වූහ.

මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සිිටි තුන්වැනි ශල්‍ය වෛද්‍යවරයකු වූ කැරල් ප්‍රෙඞ්රිඞ්ගේ විනෝදාංශය චිත‍්‍ර ඇඳීමය. 1768 දී ලංකාවට පැමිණි ඔහු මේ රෝහලත් අවට භූමි දර්ශනයත් ඇතුළත් අපූරු චිත‍්‍රයක් ඇඳ තිබිණි.
කොළඹ රෝහලේ වැඩිම කාලයක් සේවය කළ ශල්‍ය වෛද්‍යවරයා නමින් බාරන්ඞ් ඇලේමන්ය. ඔහු 1756 සිට 1790 දක්වා වූ කාලය කොළඹ රෝහලේ සේවය කළේය. නමුත් කොළඹ රෝහලේ සේවය කළ වඩාත් ජනප‍්‍රිය ශල්‍ය වෛද්‍යවරයා පෝල් හර්මන්ය. මන්දයත් ඔහු වෛද්‍ය වෘත්තියට අමතරව ලංකාවේ ශාඛ පිළිබඳ පර්යේෂණයක්ද කර තිබීමය. ඔහුගේ එකී පර්යේෂණය පිළිබඳ වාර්තාව අතිශය වැදගත් එකකි.
මේ ශල්‍ය වෛද්‍යවරු දවසකට දෙවතාවක් රෝගීන් පරීක්ෂා කර බැලූ අතර, කිසියම් රෝගියකුගේ රෝග තත්ත්වය උත්සන්න වූ හැම විටෙකම යළි රෝගීන් බැලීමට පැමිණියහ. මේ නිසා වෛද්‍යවරයාගේ නිල නිවාස පිහිටා තිබුණේද මේ රෝහලේම ඉදිරිපස කොටසේය. එකී නිල නිවෙසට යටින් තිබුණේ රසායනාගාර සහ ඖෂධ නිෂ්පාදනාගාරය.

දෙවැනි ශල්‍ය වෛද්‍යවරයා විවාහකයකු වූ බැවින් ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ නගරයෙන් පිටතය. එහෙත් කතා කළ  ඕනෑම මොහොතක රෝහලට වාර්තා කිරීමට ඔහු බැඳී සිටියේය.

තවත් තනිකඩ වෛද්‍යවරු ගණනාවක්ම වාසය කළේ රෝහල ආසන්නයේමය. මේ නිසා අමාරු ලෙඩෙක් ගැන වාර්තා කළ  ඕනෑම මොහොතක ඔහු බලන්නට වෛද්‍යවරු සැදී පැහැදී සිටියහ.

මේ යුගයේ මහනුවර රජ කළේ නරේන්ද්‍රසිංහ රජුය. වරක් තදබල ලෙස රෝගාතුර වූ ඔහුට රාජකීය වෛද්‍යවරුන්ගේ ප‍්‍රතිකාර ප‍්‍රමාණවත් නොවීය. රජු  ඕලන්ද රෝහලේ ප‍්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා රජවාසලට ගෙන්වාගෙන ඔහුගෙන් ප‍්‍රතිකාර ලබාගත්තේය.

වෛද්‍ය කාර්ය මණඩලයට අමතරව බර ගෙනයන්නන්, ඉවුම් පිහුම් කරන්නෝ, මෙන්ම කම්කරුවෝද සිටියහ. විශේෂයෙන් කම්කරුවන් ලෙස සේවය කරන ලද්දේ වහලූන්ය. මේ සියල්ලන්ට මාසිකව පඩි ගෙවා තිබේ. රෝහලේ වැඩිපුරම ප‍්‍රතිකාර ලබාගෙන ඇත්තේ ලන්දේසි හමුදා සෙබළුන් සහ දීර්ඝ මුහුදු ගමන්වලදී අසනීප වන වෙළෙඳ සමාගමේ නිලධාරීන්ය. රෝහල වරාය කිට්ටුවෙන්ම ඉදිකිරීමට හේතුවද එයමය. නැවක් වරායට පැමිණි විගස මුහුදු ගමන්වලදී රෝගාතුර වූ රෝගීන් ඉක්මණින්ම රෝහලට ගෙන ආ හැකි විය. කෙසේ වෙතත් එකල බහුලවම වාර්තා වූ රෝග අතර තිබුණේ උණ, සිරුරු කුහරවල ජලය රැුස්වීමේ රෝගය, අපස්මාරය, සෙම්ප‍්‍රතිශ්‍යාව, පාචනය ආදියයි.

එදා මේ අන්දමින් ඉතා විශිෂ්ට අන්දමේ සේවයක් සැපයූ ලන්දේසි රෝහල, පසු කලෙක අභාවයට ගියේය. යුග පෙරළිවල ප‍්‍රතිඵල එසේය.

කෙසේවුවත් මේ රෝහල් ගොඩනැගිල්ලත්, රෝහල පිහිටි රෝහල් වීදියේ නමත් යුගයෙන් යුගයට ඉතිරිව පැවතියේය. ගොඩනැගිල්ලේ සුළු සුළු වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් ගොඩනැගිල්ල අවට වූ පරිසරය නම් බොහෝ සේ වෙනස්ව තිබේ. එදා රෝහල පසෙකින් වරාය දක්වා විහිදුණු ඇළ මාර්ගයක් ද තිබී ඇත. වරායේ සිට රෝගීන් ගෙන ආවේ මේ ඇළ දිගේ විය යුතුය.
1980 දී මේ රෝහල් ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබිණි. ඒ යුගයේ වැසිකිළි පද්ධතියක් මෙයට අලූතින් එකතුව තිබේ. 1996 පිපිරී ගිය මහබැංකු බෝම්බය ලන්දේසි රෝහලට බරපතල හානියක් කළේය.

එහෙත් දැන් කොළඹ ඉපැරැණි ලන්දේසි රෝහල, වෙළෙඳ සංකීර්ණයක් බවට පත්කර තිබේ. එදා තිබූ ඉපැරැණි බවට කිසිදු හානියක් නොවන සේ ප‍්‍රතිනිර්මාණය කෙරුණු මේ වෙළෙඳ සංකීර්ණය දේශීය විදේශීය සංචාරකයන්ගේ මනදොළ පිනවනු ඇත. නිදහස් පරිසරයක නිදහසේ හෝරාවක් දෙකක් ගත කරන්නට තරම් සුන්දර වටපිටාවකි.  ඕනෑම ආකාරයක කෑම බීම ගනිමින් හිතේ හැටියට ”ෂොපින්” කරන්නට මේ වෙළෙඳ සංකීර්ණය අපූරු තැනකි. විශේෂයෙන් ඉර බැස යන හැන්දෑවකට වැටෙන ළා අව්වත් සමග මැවෙන සෞන්දර්ය මොනවට විඳගන්නට මෙතන කදිමය. ගාලූ මුවදොර පිට්ටනිය අත ළඟමය.

එහෙත් වැදගත් වන්නේ එදා ලන්දේසි රෝහලේ පෞරාණික බවට හානියක් නොවන පරිදි ඉදිරියටත් මේ ගොඩනැගිල්ල රැකබලා ගැනීමය. වෙළෙඳසල් හිමියන්ගේත් සංචාරක ජනතාවගේත් පරම පවිත‍්‍ර වගකීම විය යුත්තේ එයයි. ඉතිහාසයේ වටිනාකම මිල කළ නොහැකි බැවිනි.

ශාන්ත කුමාර විතාන / සේයාරූ: ඇලෙක්සැන්ඩර් බාලසූරිය

මෙයින් උපුටා ගන්නා ලදී -  www.lankadeepa.lk







0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ