Wednesday, January 15, 2014

අවාරයේ පලතුරු සැපයීම ඉහළ නැංවීමට පළමු කලාපය ලග්ගල කිවුලවාඩිය ගම්මානයේ දී රඹුටන් ගම්මානය ලෙස ආරම්භ කිරීම

අවාරෙට රඹුටන් දෙන්න කිවුලවාඩිය සූදානම් කෙරේ

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දේශීය වෙළෙඳපොළ සඳහා අවාරයේ පලතුරු සැපයීම ඉහළ නැංවීමට පලතුරු කලාප තුනක්‌ ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආරම්භ කෙරෙන පලතුරු කලාපවලින් පළමු කලාපය ලග්ගල කිවුලවාඩිය ගම්මානයේ දී රඹුටන් ගම්මානය ලෙස ආරම්භ කිරීම කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

කිවුලවාඩිය ගම්මානයේ අක්‌කර 55 ක රඹුටන් වගා කිරීමට පියවර ගෙන ඇත. ගොවීන් සඳහා රඹුටන් පැළ 17,000 ක්‌ බෙදාදීම නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය.


මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය උද්‍යාන භෝග පර්යේෂණ අංශය එක්‌ව පැළ ලබාදීමට පියවර ගෙන ඇත. මෙරට රඹුටන් වාරය මැයි සිට අගෝස්‌තු දක්‌වා ගම්පහ සහ හොරණ ප්‍රදේශවලින්ද නොවැම්බර් සිට දෙසැම්බර් මාසවල දී මොනරාගල සහ බිබිල ප්‍රදේශවලින්ද රඹුටන් අස්‌වනු වෙළෙඳපොළට සැපයේ.

ලග්ගල කිවුලවාඩිය ගම්මානයේ රඹුටන් අස්‌වනු අවාරයේ ජනවාරි සිට මාර්තු මාසවල දී වෙළෙඳ පොළට සැපයීම සිදුවේ. ලග්ගල ප්‍රාදේශීය ලේකම් ඒ. ජී. සරත්චන්ද්‍ර මහතාගේ මැදිහත්වීමෙන් මෙරට ප්‍රථම අවාරයේ පලතුරු සැපයෙන ගම්මානය කිවුලවාඩිය ගම්මානයේ ආරම්භ කිරීමට හැකි විය. ප්‍රථම පලතුරු ගම්මානයේ ගොවීන් සඳහා රඹුටන් පැළ ලබාදීමේ අවස්‌ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලක්‌ බණ්‌ඩාර, ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර, මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ප්‍රසන්න පල්ලේමුල්ල, සහකාර අධ්‍යක්‌ෂවරුන් වන ඩී. කේ. කුලතුංග, දිල්රුක්‌ෂි විඡේනායක, නාඋල මූලස්‌ථාන කෘෂි උපදේශක ආනන්ද විමලවීර, ලග්ගල කෘෂි උපදේශක සජිත් නුවන්ගොඩ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ