Sunday, July 21, 2013

කලාශුරී කේ.එම්. පේ‍්‍රමදාස මහතා

පහතරට ජන කලාවන් අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා පාරම්පරික කෝළම් නාට්‍ය කලාවේ නිජ භූමියට උරුමකම් කියන මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස පරපුරේ කෝළම් නැටුම් කණ්ඩායමේ හැත්තෑපස් වසරක් පමණ නැටුම් ශිල්පියෙකු ලෙස කටයුතු කල කළුමරක්කල පේ‍්‍රමදාස මහතා පසුගිය 13 වනදා අප අතරින් සදහටම සමු ගත්තේය. 

අභප‍්‍රාප්ත වනවිට 103 වියේ පසු වූ පේ‍්‍රමදාස මහතා 1920 ගණන්වල සිට මහ අම්බලන්ගොඩ ගුණදාස කෝළම් නැටුම් කණ්ඩායමේ කටයුතු කර ඇත. ටුක්කාවඩු පෑලිස් ගුරුතුමාගෙන් කෝළම් නැටුම් පුහුණු වී ඇති අතර ඔහුගේ පුත් ගුණදාස මහතා යටතේ ද ශිල්ප දක්වා ඇත. හෙතෙම ටුක්කාවඩු පරපුරේ වත්මන් නියමුවා වන ටුක්කාවඩු හරිස්චන්ද්‍ර මහතාගේ සංවිධානය යටතේ රංගන කාර්යයේ නියැලී ඇත. 


කෝළම් නැටුම් කලාවට අයත් විවිධ නැටුම් මනාව රඟපෑමේ හැකියාවක් ඔහු සතුව තිබිනි. විශේෂයෙන් ඔහු ‘‘නොන්චි කෝළම’’ රඟ දැක්වීමට හැකියාවක් සහ කැමැත්තක්ද දැක්වු බව කිව හැක. පේ‍්‍රමදාස මහතා  1934.05.19 වන දින භාරතයේ මහා කිවිඳුන් වන තාගොර්තුමා ශි‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ඉදිරියේ ‘‘නොන්චි කෝළම’’ රඟ දක්වා ප‍්‍රශංසා ලැබුවේය. එමෙන්ම එළිසබෙත් මහ රැුජිනගේ පළමු ලංකා ගමනයේ දී එතුමිය ඉදිරියේ කෝළම් රංගනයන් ඉදිරිපත් කොට සම්මාන ලබා ඇත. 


පේ‍්‍රමදාස මහතාගෙන් දිගු කාලීනව කලා ක්‍ෂේත‍්‍රයට සිදුවු මහඟු සේවාව අගය කරමින් රජය විසින් කලාභූෂණ සම්මානයෙන් පිදුම් පුද කර ඇත. එතුමා සියවස් සපිරි අවස්ථාවේ දී පවා කෝළම් මුහුණක් පැළැද බෙර පදයට පා තබමින් කල අහිංසක නැටුම බොහෝ දෙනාගේ මතකයේ රැුදෙනු ඇත. ඔහු කෝළම් නැටුම් කලවේ ප‍්‍රවීණයෙකි. එවන් ප‍්‍රවිණයෙකුගේ අභාවය කලා ලොවම දුක් සයුරේ ගිල්වන ශෝක ජනක සිදුවීමකි. අප හදවත් තුල නැගෙන සෝ සුසුම් හා නෙතඟ රැුදෙන උණු කඳුලෙන් යුතුව අපගේ සාතිශය ශෝකය මෙසේ ප‍්‍රකාශ කරමු.


තාලයට නද දෙන
බෙර පදය නොඇසුන ද
නොන්චි අක්කා මුහුණ දෙස
නෙත් අයා ඔබ නොබැලූවද
පොතේ කවි ටික කියාලන්නට
අපට නොහැකිය රංගධරයෙනි
ඉතින් සබැඳ
සමුගනිමු නොතබා කස්තිරම
පතමු ඔබට
සදා සුවදෙන මොක්සුව 



කලාගුරු ටුක්කාවඩු ගුණදාස කෝලම් නාට්‍ය සංසදය












0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ