Wednesday, June 12, 2013

සහල්වල කැඩ්මියම් - කළ යුත්තේ සහල් නො කෑම නො ව කැඩ්මියම් සහල්වලට එකතු වන මං ඇහිරීමයි

ශ්‍රී ලංකාවේ පරිභෝජනය කෙරෙන (ඇතැම්) සහල් වර්ගවල ද අධික කැඩ්මියම් ප්‍රමාණයක්‌ අන්තර්ගත වන බව පසුගිය සතියේ මේ පුවත්පතෙහි පළ කළ පුවතකින් අනාවරණය කෙරිණි. රටවල් 12ක්‌ සහභාගි කරගෙන ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරුණු එම අධ්‍යයනය ජාත්‍යන්තර ජර්නලයක්‌ වන Environmental Science & Technologyහි ප්‍රකාශයට පත් වූ අතර එහි කර්තෘවරයකු ලෙස රුහුණ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයකු ද සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. 

අප රටෙහි සහල්වල කැඩ්මියම් අන්තර්ගත බවට කෙරෙන අනාවරණය සුළු කොට තැකීමට හැක්‌කක්‌ නො වේ. මේ වන විටත් රජරට වකුගඩු රෝගය කෙරෙහි ආසනික්‌, කැඩ්මියම් වැනි සාධක විද්‍යාත්මක අධ්‍යයන ඔස්‌සේ චූදිතයන් බවට පත් ව හමාර ය.

මේ අධ්‍යයනයට අප රට නියෝජනය කරමින් හවුල් වූ රුහුණ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය මංගල සී. එස්‌. ද සිල්වා මේ සොයාගැනීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන්නේ මේ ආකාරයෙනි.

"මේ ප්‍රශ්නය ඇති වී තියෙන්නේ අපි සහල් පරිභෝජනය කරන හින්දා නො වෙයි. අප අනවශ්‍ය විදිහට පොහොර භාවිත කරනවා. පොහොර සහනාධාරය දෙන නිසා පොහොර වැඩියෙන් භාවිත කරනවා. මේ කලාපයේ වැඩියෙන් ම පොහොර භාවිත කරන රට අපේ රට. ඒ නිසා මේ සොයාගැනීම රතු එළියක්‌ විදිහටයි සැලකිය යුත්තේ. අපේ රටේ හාල්වල කැඩ්මියම් හමු නො වූ සාම්පල ද තියෙනවා. ඉහළින් ම හමු වූ සම්පල ද තියෙනවා. පොහොර වර්ගය මතත් වී ප්‍රභේද මතත් කැඩ්මියම් ප්‍රමාණය වෙනස්‌ වනවා. රජය උනන්දු විය යුතුයි නිදර්ශක තෝරාගෙන මීට වඩා පුළුල් පරීක්‌ෂාවක්‌ කරන්න. දැනට ක්‌ෂණිකව කළ යුත්තේ ප්‍රමිතියකින් තොර ව කෙරෙන පොහොර භාවිතය නවතා ලීමයි" 

ඔහු ගේ ප්‍රකාශයෙහි වැදගත් පණිවිඩයක්‌ ගැබ් ව තිබේ. මන්ද යත් ඔවුන් එම අධ්‍යයනය සිදු කළේ හෝ ජනමාධ්‍ය මේ අධ්‍යයනය විස්‌තරාත්මකව හෙළිදරව් කරන්නේ හෝ සහල් ආහාරයට ගැනීම වළක්‌වන්නට නො වන බැවිනි. දැනට වඩා අපේ කෘෂිකාර්මික භාවිතයන් ගැන සැලකිලිමත් වීම සහ එහි ප්‍රමිතීන් ඇති කිරීම වැදගත් බව ප්‍රතිපත්ති සම්පාදකයන්ටත්, ආහාර නිෂ්පාදනයට සම්බන්ධ අනෙක්‌ පාර්ශ්වයන්ටත් සන්නිවේදනය මෙහි අරමුණයි. 

මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් දත්ත එක්‌ රැස්‌ කළ රටවල් 12 අතරෙන් සහල් ඔස්‌සේ දෙවැනියට ඉහළ ම කැඩ්මියම් දේහගත වීමක්‌ සිදු ව ඇත්තේ ලංකාවේ ය. ඔවුන් ගේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ රටවල් 12 වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ඝානාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නේපාලය, ස්‌පාඤ්ඤය, තායිලන්තය හා ඇමෙරිකාවයි. මේ පෘථුල අධ්‍යයනය සිදු කරන්නට රටවල් හතක විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව සිටි අතර එයට එක්‌සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඇන්ඩෲ 

මෙහාඡ්, ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයේ ගරෙත් නෝටන්, ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයේ ක්‌ලෙයාර්ඩීකර් මෙන්ම චීනය මලයාසියාව, ඝානාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල පර්යේෂකයෝ පිරිසක්‌ ද හවුල් වී සිටිය හ. 

මේ රටවල් 12 ඔවුන් තෝරාගෙන ඇත්තේ යුරෝපා, ආසියා, අප්‍රිකා, ඇමෙරිකා යන මහාද්වීප 4 ක්‌ නියෝජනය වන පරිද්දෙනි. මේ රටවල් 12ට අමතරව බංග්ලාදේශයේ ඉන්දියාවේ චීනයේ කරන ක්‍ෂෙත්‍ර පර්යේෂණ ගැන තොරතුරු ද (මේ අධ්‍යයනයේ සාමාජිකයන් විසින් ම) මේ නිබන්ධයේ ඇතුළත් කර තිබේ. පර්යේෂකයන් තමන් විවිධ රටවල දී ලබාගත් සහල් නියෑදිවල තිබූ කැඩ්මියම් ප්‍රමාණවල මධ්‍යයන අගයන් දක්‌වන්නේ පහත ආකාරයට ය.

මේ පර්යේෂණවලින් හෙළි ව ඇති තවත් වැදගත් කරුණක්‌ වන්නේ පාහින ලද සහල්වල නො පාහින ලද සහල්වලට සාපේක්‌ෂව කැඩ්මියම් අඩු බවයි. මෙය අප ගේ පෝෂණය පිළිබඳ සාම්ප්‍රදායික මතවාද පුපුරුවා හරින සොයා ගැනීමකි. මන්ද යත් අපට සැබැවින් ම අසන්නට ලැබෙන්නේ නො පාහින ලද සහල් පාවිච්චි කරන ලෙස උපදෙස්‌ ය. එහෙත් කැඩ්මියම්වලට අදාළව එය එසේ නො වන බව පෙනේ. 

දැනට නො පාහින ලද සහල්වලට ප්‍රිය කරන යමකු මේ පර්යේෂණ දත්ත පාදක කරගෙන පාහින ලද සහල් වෙතට මාරු විය යුතු ද?

මේ පිළිබඳව ආචාර්ය මංගල ද සිල්වා ගේ අදහස මෙබඳු ය.

"නො පාහින ලද හාල් කන එක තමයි වඩා හොඳ. පෑහීමේ දී පෝෂණ තත්ත්වයට යම් යම් හානි වෙනවා. පාහින්නේ නැති හාල්වල විටමින් B හා තන්තු තියනවා. නමුත් කැඩ්මියම් ගැන සැලකුවොත් නො පාහින ලද හාල්වල ගැටලුවක්‌ තියෙනවා. මොකද කැඩ්මියම් උරා ගන්නා විට නිවුඩ්ඩේ රැඳෙනවා. නිවුඩ්ඩ අයින් කළොත් 20%ත් 40%ත් අතර ප්‍රමාණයක්‌ කැඩ්මියම් අඩු වෙනවා. ඒත් මට නැවතත් කියන්න තියෙන්නේ හාල් කන්න එපා කියා නෙවෙයි. අනවශ්‍ය විදියට පොහොර දමලා හාල් විනාශ කරන්න එපා කියන එකයි. පොහොර දමනව නම් ඉතා ම සුදුසු පොහොර දැමිය යුතුයි. ඒ විදියට කරලා හොඳ හාල් නිපදවනව නම් නිවුඩ්ඩ සහිත හාල් සැකයකින් තොර ව කෑ හැකියි." 

චීනයේ Chenzhou yd Qixang ප්‍රදේශයේ දී කරන ලද ක්‍ෂේත්‍ර අධ්‍යයනවල දී ද හෙළි වී ඇත්තේ සහල් පෑහීම ම`ගින් කැඩ්මියම් ප්‍රමාණය සියයට හතළිහකින් පමණ අඩු කර ගත හැකි බවයි. 

මේ අධ්‍යයනය තුළ දී ඉතා ම පුළුල් ලෙස විග්‍රහයකට බඳුන් ව ඇත්තේ බංග්ලාදේශයේ සහල් පිළිබඳ ව ය. එය විශාල ලෙස පොහොර භාවිත කරන රටක්‌ බව ආචාර්ය මංගල ද සිල්වා පෙන්වා දෙයි. එසේ ම එහි පසෙහි ද ස්‌වාභාවික ව ම කැඩ්මියම් බහුල බව ඔහු පෙන්වා දෙයිs. 

එහි දී සාම්පල 260ක්‌ ලබාගෙන ඇති අතර එරට මෙවැනි පෘථුල මට්‌ටමේ අධ්‍යයනයක්‌ (කැඩ්මියම් සම්බන්ධව) සිදු වූ පළමූ වතාව ද මෙය වේ. බංග්ලාදේශයේ දිස්‌ත්‍රික්‌ක 12ක්‌ නියෝජනය වන පරිදි මේ සාම්පල් ලබා ගැනීම සිදු කර තිබිණි. මේ සාම්පලවලින් බොහොමයක කිලෝග්‍රෑමයකට මිලි ග්‍රෑම් 0.1කට වැඩියෙන් කැඩ්මියම් අන්තර්ගත ව තිබිණි. 

බංග්ලාදේශයෙන් පසු වැඩි ම කැඩ්මියම් ප්‍රමාණයක්‌ දේහගත වී තිබුණේ ශ්‍රී ලංකාවේ ය. 

උක්‌ත අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවෙන් නිදර්ශක ලබාගෙන තිබුණේ පදවි ශ්‍රීපුර, කැබිතිගොල්ලෑව, පරාක්‍රමපුර, රඹාව යන උතරුමැද ප්‍රදේශවලින්, මාතර දිස්‌ත්‍රික්‌කයේ දෙනිපිටිය, සුල්තානාගොඩ, තෙලිඡ්ජවිල යන ප්‍රදේශවලින් හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ බැරගමිනි. 

මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන දෙරට ම සහල් පරිභෝජනය ඉහළ රටවල් දෙකක්‌ වීම ය. 

ප්‍රංශයේ හා කාම්බෝජයේ සහල්වල වාර්තා වී තිබුණේ ඉතා අඩු කැඩ්මියම් ප්‍රමාණයන් ය. ඝානාවේ සමස්‌තයක්‌ ලෙස සහල් තුළ කැඩ්මියම් අන්තර්ගත ව ඇත්තේ අඩුවෙන් වුව ද එනම් මධ්‍යයන අගය අඩු වුව ද එහි ඇතැම් සාම්පලවල ඉතා ඉහළ කැඩ්මියම් ප්‍රමාණ තිබූ අවස්‌ථා ද විය. ඊට හේතුව පතල් කර්මාන්තය සිදු වූ ප්‍රදේශවල ඒ ක්‍රියාකාරකම් හේතු කොටගෙන පස දූෂණය වී තිබීමයි. 

සහල් ම`ගින් කැඩ්මියම් ශරීරගත වීමට ප්‍රධාන කරුණු තුනක්‌ බලපායි.

1. සහල්වල කැඩ්මියම් සාන්ද්‍රණය 

2. සහල් පරිභෝජන අනුපාතිකය 

3. පරිභෝජනය කරන පුද්ගලයන් ගේ දේහ ස්‌කන්ධ දර්ශකය 

ඇමෙරිකාවේ හෝ යුරෝපයේ හෝ පුද්ගලයකු දවසකට ආහාර ලෙස ගන්නේ සහල් 20ට තරම් සුළු ප්‍රමාණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ මිනිසකු දවසකට ග්‍රෑම් 400-500 අතර ප්‍රමාණයක්‌ සහල් අනුභව කරන බව පැහැදිලි ය. එයින් පෙනී යන්නේ යුරෝපීයයකු ගේ මෙන් විසි ගුණයකට ආසන්න ප්‍රමාණයක්‌ සහල් ලාංකිකයකු ගේ දේහයට ඇතුළු වන බව ය. 

කෙසේ වෙතත් උක්‌ත පර්යේෂණයේ දී කැඩ්මියම් සහල් තුළට යැමට හේතුව පොහොර පමණක්‌ බව නිශ්චිත ලෙස හෙළි කොටගෙන නැත. එහෙයින් ඒ පිළිබඳව දීර්ඝව පර්යේෂණ කළ යුතු ව ඇති බව පෙනෙයි. එසේ ම පොහොර ප්‍රමිතියකින් භාවිත කරන ඇමෙරිකාවේ සහල්වල ඇති කැඩ්මියම් මට්‌ටම ඉතා අඩු අගයකි. එනිසා පොහොර භාවිතයෙන් මිදීම නො ව වඩා හොඳ පොහොර භාවිත කිරීම විසඳුමක්‌ ලෙස පෙන්වා දිය හැකි ය. මහා පරිමාණ වගාවකට යැමේ දී පොහොර භාවිතය යම් මට්‌ටමකට හෝ කළ යුතු වේ. එනිසා පොහොර සහනාධාරය කැපීම වැනි යෝජනාවකට නො ව වඩාත් හොඳ පොහොර ලබා දීමේ යෝජනාවකට අප යොමු වීම වඩාත් බුද්ධි ගෝචර වනු ඇත. එසේ ම කැඩ්මියම් සහල්වලට ඇතුළත්වී ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න ගැන වැඩිදුර පර්යේෂණ ඉතා ඉක්‌මනින් කළ යුතු බව නැවතත් සඳහන් කළ යුතු ව ඇත.

මනෝඡ් රත්නායක  
 උපුටා ගෑනීම -  http://www.vidusara.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ